අප ගැන

හැඳින්වීම

දැක්ම

“සියළුම පුරවැසියන්ට යහපත් ජන ජීවිතයක්”

මෙහෙවර

“මානව සම්පත් තුළින්ද, සියළු බදු මුදලින්ද, පුරවැසියන්ගේ සුව සම්පත සැප විහරණද, සුඛිත මුදිත ජීවන තත්වයක්ද ඇති කිරීම හා පාරිසරික, භෞතික සම්පත් සංවර්ධනයෙන් නැණ නුවණින් හෙබි මතු පරපුරක් වෙනුවෙන් නාගරික දියුණුව සපථ කිරීම”

මොරටුවේ පළාත් පාලන ඉතිහාසය

වර්තමානයේ මොරටුව නගරයේ පරිපාලන කටයුතු මොරටුව මහා නගර සභාවෙන් සිදු කරගෙන යනු ලබන අතර, මොරටුවේ පළාත් පාලන ඉතිහාසය 19 වන ශතවර්ෂයේ මුල් දශකය දක්වා දිවයයි. මොරටුවේ පළාත් පාලන ඉතිහාසය අවධි තුනක් යටතේ විකාශනය වී වර්තමාන තත්වයට පත්වී ඇති අතර එහි සංක්ෂිප්ත සටහනක් පහතින් දැක්වේ.

පළමු අදියර – ප්‍රාදේශීය මණ්ඩලය

මොරටුවේ ස්ථාපිත පළමු පළාත් පාලන ආයතනය වූයේ ප්‍රාදේශීය මණ්ඩලය නම් පාලන මණ්ඩලයකි. දිසාපතිවරයා නිල බලයෙන් සභාපති ධූරය දැරූ මෙම ආයතනය නියෝජිතයන් හය දෙනෙකුගෙන් යුක්ත වූ අතර එහි පළමු සභා රැස්වීම 1908 ජනවාරි මස 09 වන දින පවත්වා ඇත.

දෙවන අදියර – නගර සභාව

වර්ෂ 1930 දී, මොරටුව නගරය නගර සභාවක පාලනය යටතට පත් කරන ලදී. නගර සභාව ස්ථාපිත කිරීමට අදාළව 1928 ජනවාරි 13 වන දින නිකුත් කරන ලද ගැසට් නිවේදනය ප්‍රකාරව ප්‍රථම නගර සභා මැතිවරණය 1929 වර්ෂයේදී පවත්වන ලද අතර පළමු මහ සභා රැස්වීම 1930 ජනවාරි මස 01 වන දින පවත්වන ලදී. නාගරික කොට්ඨාශ 08කින් සමන්විත වූ පළමු නගර සභාව ඡන්දයෙන් තෝරා පත් කර ගත් සභිකයන් 08 දෙනෙකුගෙන් හා නම් කළ සභිකයන් 04 දෙනෙකුගෙන් යුක්ත විය.

1942 ජනවාරි මාසයේ සිට නගර සභා කොට්ඨාශ ගණන 10ක් දක්වා ඉහළ නංවන ලද අතර පත්කල සභිකයන් දෙදෙනෙකු ද ඇතුළුව සභිකයන් දොළොස් දෙනෙකුගෙන් නගර සභාව සමන්විත විය.

තෙවන අදියර – මහා නගර සභාව

1997 ජනවාරි 08 වන දිනැති අංක 957/13 දරණ ගැසට් නිවේදනය පරිදි 1997 අප්‍රේල් 15 වන දින සිට මොරටුව මහා නගර සභාවක් බවට පත් කරන ලදී. ඒ අනුව වර්තමාන මොරටුව මහා නගර සභාව මන්ත්‍රීවරුන් 48 දෙනෙකුගෙන් යුක්ත වේ.

නාගරික කොට්ඨාශ

ස්ථාවර කමිටු හා ක්‍රියාකාරීත්වය

මහා නගර සභාවේ ප්‍රධාන විධායකය නගරාධිපති වේ. නගරාධිපති හා මහජන ඡන්දයෙන් පත්වූ සභිකයන් 48කුගෙන් යුතු සභාව විසින් ජනතාවට සේවය කිරීම පිළිබඳ තීරණ ගැනීමේ ක්‍රියාවලිය සිදු කරනු ලබයි. නගර සභාව තුළ සභිකයන් සහභාගී වන කමිටු 09ක් වන අතර කමිටු සඳහා වෙන් වශයෙන් සභිකයන් සහභාගී වෙති.

ස්ථාවර කමිටු

  1. ඉඩම් හා නගර සංවර්ධනය පිළිබඳ ස්ථාවර කමිටුව
  2. මහජන උපයෝගීතාව කාන්තා හා ප්‍රජා සංවර්ධනය පිළිබඳ ස්ථාවර කමිටුව
  3. ආයතන හා නීතිය පිළබඳ ස්ථාවර කමිටුව
  4. පරිසර,සෞඛ්‍ය හා සනීපාරක්ෂාව පිළබඳ ස්ථාවර කමිටුව
  5. ක්‍රීඩා කටයුතු හා පොදු විනෝද කටයුතු පිළබඳ ස්ථාවර කමිටුව
  6. ව්‍යාපාති හා භෞතික සම්පත් කළමනාකරණය පිළිබඳ ස්ථාවර කමිටුව
  7. ඵලදායීතාවය හා මුදල් උත්පාදනය පිළිබඳ ස්ථාවර කමිටුව
  8. කර්මාන්ත හා ඉදිකිරීම් පිළිබඳ ස්ථාවර කමිටුව
  9. මුදල් පිළිබඳ ස්ථාවර කමිටුව

මෙම ස්ථාවර කමිටු මගින් ගනු ලබන රෙකමදාරු මහා සභාව මගින් අනුමත කෙරෙනු ලබන අතර මහා සභාව මසකට වරක් සියළු සභිකයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වේ. මහා නගර සභාවේ නාගරික කොමසාරිස් ප්‍රධාන පරිපාලන නිලධාරියා වන අතර ඔහුගේ අධීක්ෂණය යටතේ දෙපාර්තමේන්තු11 ක් ක්‍රියාත්මක වන අතර එමගින් මොරටුව නගර වැසියන්ට සේවාවන් සපයනු ලැබෙයි.