මොරටුව ගැන

ඉතිහාසය

මොරටුව පුරවරයේ පිහිටීම

මොරටුව නගරය ශ්‍රී ලංකාවේ බටහිර දෙසින් වෙරළබඩ තැනිතලාවේ ඉන්දියන් සාගරයට යාව සුන්දර බිම් තීරයක පිහිටා ඇත.නැගෙනහිරින්  හා දකුණෙන් බොල්ගොඩ නදියෙන්ද, බටහිරින් ඉන්දියන් සයුරෙන්ද, උතුරෙන් දෙහිවල ගල්කිස්ස මහා නගර සභා බල ප්‍රදේශයෙන්ද සීමා වන වර්ග කිලෝමීටර් 23.5ක භූමි ප්‍රමාණයකින් යුතු ජලාශ්‍රිත නගරයකි. නගරමධ්‍යයේ පිහිටි ස්වභාවික පරිසර පද්ධතියක් වන ලූනාව කලපුව නගරයේ ස්වභාවික සුන්දරත්වය ඔප්නංවයි. මොරටුව බල ප්‍රදේශයේ මුලු භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 23.4කි. 2011/2012 ජන සංගණනයට අනුව මුලු ජනගහනය 166,857ක් වන අතර ග්‍රාම නිලධාරි වසම් 42ක් පවතී.

මොරටු පුරාණය

ජනප්‍රවාද හා ඇතැම් ‍ඓතිහාසික තොරතුරු අනුව මොරටුවේ ඉතිහාසය අනුරාධපුර යුගය දක්වා දිව යයි. දුටුගැමුණු රජ සමයෙහි සෙබළුන් 360ක හේවා පන්නයක් සමඟ සෙන්පතියෙකු පැමිණ මොරටුව හා අවට ප්‍රදේශ සතුරු උවදුරු වලින් ආරක්ෂා කර ගැනීම සඳහා එහි පදිංචි වීමෙන් පසුව මොරටුවේ ජනාවාස ඇතිවු බවත් , මෙහි පිහිටා තිබූ මුර අටුවක් හේතුවෙන් ‘මුර-අටුව’ -‘මුරටුව’ යන්න බිදී ගොස් මොරටුව යන නාමය ඇතිවූ බවත් ජනප්‍රවාදයෙහි වෙයි.

පරෙවි සන්දේශය
ලෙලවමිනි තනබර පුවළ අළ ගනරන්                      තැ‌‌ඹිලියේ
දුහුලැඳ උඩු දණ මඬලද සිරිසර                          පාමිණෙලියේ
ගෙරි නවතමින් යනෙන ‍ගෙප‍ අඟනන්                        එළියේ
නෙතු සිතු සනසමින් සබඳ නොලසව මොරටුව            එළියේ

ගිරා සන්දේශය
පල පල පොරැනය              න්
ගවමි රැල ගිගිලියෙ             න්
ගවපල් කෙළින කෙළියෙ    න්
යව ඉටු මොරටු එළියෙ       න්

සිරිලක අවසන් රජු ලෙස කිරුළු පළන් ලංකා මාතාවගේ ශ්‍රේෂඨ පුත්‍රරත්නයක්  වූ වීර සන්නද්ධ වීරබල ජයසූරිය කුරු උතුම්පාල අර්ථදේව ගුණරත්න පටබැදිගේ ප්‍රැන්සිස්කු ප්‍රනාන්දු හෙවත් ‘වීරපුරන්අප්පු’ විරුවාණන්ට තිඹිරිගෙය වූයේද මෙම මොරටු පුරවරයයි.

බ්‍රිතාන්‍ය පාලනයෙන් මාතෘ භූමිය නිදහස් කරගැනීම සඳහා ඇරඹි 1848 කැරැල්ලේ නායකත්වය ගත් පුරන්අප්පු විරුවා මොරටුව පුරවරයට ලබා දුන් අභිමානය ඉතිහාසයේ රන් අකුරින් ලියවී ඇති අතර ඔහුගේ උදාරත්වය පිළිබඳ ප්‍රකට වු වැකි පහත වේ.‍

“මරණ දණ්ඩනයට මුහුණ දෙන අවස්ථාවේදී ඔහු ඉතා වීරෝදාර ලෙස වෙඩි උණ්ඩයට මුහුණ දුන්නේය.” – සර් එමර්සන් ටෙනන්ට්

“මා වැන්නවුන් සිව් දෙනෙකු රජුට සිටියේ නම් මහනුවර අල්ලා ගැනිමට හැකිවනු ඇත යන්න අවසන් මොහොතේදී ඔහු කළ ප්‍රකාශය විය.” – කපිතාන් ඇන්ඩර්සන්

මොරටු වැසියන්ගේ ජීවන තොරතුරු

දීර්ඝ කාලයක පටන් බෞද්ධ, ක්‍රිස්තියානි හා ඉස්ලාම් භක්තිකයන් අන්‍යෝන්‍ය සහයෝගයෙන් නිවසින, සංස්කෘතික විවිධත්වයෙන් යුතු මොරටුවට පමණක් ආවේණික වූ ස්විශේෂි ජීවන රටාවක් මොරටු නගරය තුළ දැකගත හැක. 2011 ජන සංගනනයට අනුව මොටුවේ ජනගහනය 167,160ක් වේ.

ප්‍රධාන ජීවනෝපාය

ශ්‍රී ලංකාවේ ලී භාණ්ඩ නිෂ්පාදනයේ, දැවකර්මාන්තයේ ප්‍රමුඛතම නිෂ්පාදන නගරය මොරටුව පුරවරයයි. ඓතිහාසික වශයෙන් වඩු කර්මාන්තය පිළිබඳ තොරතුරු ගණනාවක්ම යටත් විජිත සමයේ මෙරටට පැමිණි බ්‍රිතාන්‍ය ජාතික ලේඛකයන්ගේ වාර්තා ඇසුරෙන් අනාවරණය වේ.

“මෙහි  ජීවත්වන මිනිසුන්ගේ රැකියාව වඩු කර්මාන්තයයි. තමන්ගේම වඩු උපකරණ උපයෝගී කරගනිමින් තම දෑතේ ඇඟිලි මෙන්ම පා ඇඟිලිද දක්ෂ ලෙස වැඩෙහි යොදවමින් ඔවුහු ආදි කාලීන විධියට වඩු කර්මාන්තයේ යෙදෙති. ඔවුහු දක්ෂ වැඩකරුවන් වන අතර අලංකාර කැටයම් කරති. ඔවුන්ගේ සමහර කැබිනට් (පෙට්ටගම්) විශිෂ්ඨය. ලස්සන මොරටු කලපුවේ ඉවුරු මත පොල් අතු සෙවෙණි කළ මඩු යට අවුරුද්ද පුරා මේස, පුටු, කවිච්චි හා ඇදන් දහස් ගනන් සාදනු ලැබේ.”
– හෙන්රි ඩබ්ලිව් කේව් – දැකුම්කළු සිරිලක 1890

වර්තමානයේද මොරටුව නගරවාසී ජනතාවගේ ප්‍රධානතම ජීවනෝපාය වන්නේද වඩු කර්මාන්තයයි. ප්‍රධාන වශයෙන් මොරටු මුල්ල, ඉඳිබැද්ද, කඩලාන, විල්ලෝරාවත්ත හා කොරළවැල්ල යන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන වර්තමාන දැව භාණ්ඩ නිෂ්පාදනය විශාල වශයෙන් යාන්ත්‍රීකරණය වීම නවීන තාක්ෂණය භාවිතා කරමින්, විශාල නිෂ්පාදන ධාරිතාවයකින් පවත්වා ගෙන යනු ලබයි. වඩු කර්මාන්තය සම්බන්ධ අනෙක් වැදගත් ලක්ෂණය වන්නේ මහා පරිමාණ කර්මාන්තශාලා ආශ්‍රිතව සිදුකරගෙන යනු ලබන කර්මාන්තයක් බවට පත් නොවී, ගෘහ මට්ටමෙන් පවත්වාගෙන යනු ලබන කර්මාන්තයක් ලෙස මේ වන විටත් පැවතීමයි. කෙසේ වෙතත් වසර සිය ගණනක ඉතිහාසය තුළ අනර්ගතම ගෘහ භාණ්ඩ නිපදවීම තුළින් මොරටුව ලබා ගෙන ඇති කීර්තිනාමය එදාමෙන්ම අදත් එලෙසම පවතී.

ධීවර කර්මාන්තයද අනාදිමත් කලක සිට මොරටු වැසියන්ගේ ප්‍රධාන ජී‍වනෝපයකි. කරදිය ධීවර කර්මාන්තය මෙන්ම බොල්ගොඩ ගඟ හා ලුනාව කළපුව ආශ්‍රිතව මිරිදිය කර්මාන්තයේද යෙදෙන දසදහස් ගණනක් අදත් මොරටුවේ වාසය කරති. මාදැල් හා ඔරු භාවිතා කරමින් පැවැති සම්ප්‍රදායික කරදිය ධීවර කර්මාන්තය අදටත් නොනැසී පවතින අතර මොදර ධීවර වරාය ආශ්‍රිතව නවීන තාක්ෂණය භාවිතා කරමින් සිදු කෙරෙන ධීවර කර්මාන්තයද ක්‍රියාත්මක වේ.

බොල්ගොඩ ගඟ ආශ්‍රිතව ක්‍රියාත්මක වන මිරිදිය ධීවර කර්මාන්තය මේ වන විටත් එහි සාමප්‍රදායික රුව ගුණ රැකගනිමන් ජාකොටු, විසිදැල් හා ඔරු භාවිතා කරමින් පවත්වා‍ගෙන යාම විශේෂ ලක්ෂණයකි.

අධ්‍යාපනය

දකුණු ආසියාවේ ප්‍රමුඛතම තාක්ෂණික විශ්ව විද්‍යාලයය වන මොරටුව විශ්ව විද්‍යාලය ද පිහිටා තිබෙනුයේ මොරටුව පුරවරයේ වන අතර, වේල්ස් කුමර විද්‍යාලය, වේල්ස් කුමරි විද්‍යාලය, ශාන්ත සෙබස්තියන් විද්‍යාලය, මොරටු මහා විද්‍යාලය, මෙතෝදිස්ත උසස් පාසල ආදියද මෙහි පිහිටා තිබේ.

ප්‍රවාහන සහ මහා මාර්ග

ගාලු – කොළඹ ප්‍රධාන මාර්ගය (A2) ප්‍රධාන ප්‍රවාහන මාර්ගයෙන් ඔබ්බට උතුරු හා දකුණු දිශාවට පැතිරුනු අතුරු මාර්ග සහිත මාර්ග පද්ධතියක් සහිත ‍වන අතර, මුහුදු බඩ දුම්රිය මාර්ගය මොරටුව හරහා ‍දිවෙයි. අඟුලාන, ලුනාව, මොරටුව, කොරළවැල්ල හා එගොඩ උයන දුම්රිය ස්ථාන මොරටුව ප්‍රදේශයට අයත්වේ.

‍මොරටුව මහා නගර සභා බල ප්‍රදේශයේ ‍භෞතික තොරතුරු

පළාතබස්නාහිර පළාත
පරිපාලන දිස්ත්‍රික්කයකොළඹ
ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයමොරටුව
ඡන්ද කොට්ඨාශයමොරටුව
භූමි ප්‍රමාණය23.4 වර්ග. කි.මී.
කොට්ඨාශ18
ග්‍රාම නිලධාරී කොට්ඨාශ42
පවුල් සංඛ්‍යාව41,459 (මූලාශ්‍රය : 2011/2012 සංගනනය)
ජනගහනය166,857 (මූලාශ්‍රය: 2011/2012 සංගනනය)
ඡන්ද දායකයන් ගනන113,795
ගනනය කරන වත්කම් ප්‍රමාණය59,187
වත්කම් ප්‍රමාණය – ගෘහස්ථ8%
වත්කම් ප්‍රමාණය – වාණිජ්‍ය12%
මුඩු බිම්20%
වීථි ලාම්පු7023
පොදු ළිං07
තාර යෙදූ මාර්ග125.38 කි.මී
කොන්ක්‍රීට් මාර්ග18.20 කි.මී
බොරළු මාර්ග4.5 කි.මී
කාපට් යෙදූ මාර්ග34.2 කි.මී
ගල් ඇතිරූ මාර්ග23.54 කි.මී
  1. පන්සල් (47)
  2. ක්‍රිස්තියානි පල්ලි (23)
  3. මුස්ලිම් පල්ලි (02)
  4. හින්දු කෝවිල් (03)